අසාත්මිකතා

ඔබට අසාත්මිකතාවයක් ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබට ඇති රෝග ලක්ෂණ, ඒවා ඇති වන්නේ කුමන වේලාවටද, මේවා ඇතිවීම සඳහා බලපාන හේතුවක් ඔබ දන්නවාද, සහ කොපමණ කාලයකින් මේවා ඇතිවන්නේ ද යන්න ඔබ ඔබගේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. පැහැදිලි හේතුවක් සමඟ ඇතිවන මෘදු අසාත්මිකතාවයක් නම් ඔබගේ වෛද්‍යවරයාට, ඔබට උපදෙස් දීම සහ ප්‍රතිකාර කිරීම කල හැකිය. ඔබගේ අසාත්මිකතාවය වඩාත් බරපතල නම් හෝ ඔබගේ අසාත්මිකතාවය ඇතිවීමට පැහැදිලි හේතුවක් නොමැති නම් හෝ අසාත්මිකතාවය සඳහා ඇති විශේෂ සායනයකට ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව යොමු කරනු ලැබේ.

සම සීරීමක් මගින් සිදු කරනු ලබන පරීක්ෂණය

මෙය අසාත්මිකතාවය හඳුනා ගැනීම සඳහා කරන වඩාත් පොදු පරීක්ෂණයක් වේ. ඔබගේ අතක ඉදිරි පස කොටසට ඔබ අසාත්මිකතාවය දක්වන ද්‍රව්‍යය අඩංගු දියර වර්ගයක බින්දුවක් දමනු ලැබේ. එම දියර බින්දුවට යටින් ඇති සම කුඩා තියුණු කටුවක තුඩ මගින් සියුම් ආකාරයෙන් සීරීමක් කරනු ලැබේ. ඔබ එම ද්‍රව්‍යයට අසාත්මිකතාවයක් ඇත්නම්, විනාඩි 15 ක් ඇතුළත එම ස්ථානය රතු පැහැ වී ඉදිමුණ ස්වභාවයක් දක්නට ලැබේ. මෙම පරික්ෂාව වේදනාවකින් තොර ඉතා ආරක්ෂාකාරී පරීක්ෂාවක් වේ. මෙම පරීක්ෂණය කිරීමට පෙර ඇන්ටි හිස්ටමින් (Antihistamine) ඖෂධ නොගැනීමට වග බලා ගන්න.

රුධිර පරීක්ෂණ

සාමාන්‍ය අසාත්මිකතා හඳුනා ගැනීම සඳහා සම සීරීමක් මගින් සිදු කරනු ලබන පරීක්ෂණය වෙනුවට හෝ එම පරීක්ෂණයත් සමඟම රුධිර පරීක්ෂණයද භාවිතා කරයි. ඔබගේ රුධිරයේ සාම්පලයක් ලබාගෙන, ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල අසාත්මික වූ ද්‍රව්‍යයට ප්‍රතිදේහ නිපදවනවාද යන්න විශ්ලේෂණය කිරීම මෙමඟින් සිදුවේ.

පැච් පරීක්ෂණ

ඔබගේ සම, අසාත්මිකතාවය ඇති ද්‍රව්‍යයකට නිරාවරණය වූ විට, ඇතිවිය හැකි කොන්ටැක්ට් ඩර්මටයිටිස් (Contact dermatitis) යනුවෙන් හැඳින්වෙන එක්සිමා (Eczema) වර්ගයක් පරික්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂණය භාවිතා කරයි. අසාත්මිකතාවයක් ඇතැයි සැක කරන ද්‍රව්‍යයේ කුඩා ප්‍රමාණයක් විශේෂ තැටියකට එකතුකර එය ඔබගේ සමට සවිකර පැය 48ක් යනතුරු කිසියම් ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවාද යන්න නිරීක්ෂණය කරනු ලැබේ.

ආහාර ඉවත් කිරීම

ඔබට අසාත්මිකතාවය ඇතැයි සැක සහිත ආහාර ඇත්නම් එම ආහාරය ආහාරයට ගැනීමෙන් වලකින ලෙස ඔබට උපදෙස් ලැබෙනු අතර ඊට පසුව ඔබගේ රෝග ලක්ෂණ හොඳ අතට හැරෙනවාද යන්න බලනු ලැබේ. සති කීපයකට පසුව, ඔබට වෙනත් ප්‍රතික්‍රියාවක් තිබේ දැයි පරික්ෂා කිරීම සඳහා නැවතත් ඔබට එම ආහාර, ආහාරයට ගන්නා ලෙසට උපදෙස් ලැබෙනු ඇත. සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘතිකයෙකු සමඟ සාකච්චා නොකර මෙය ඔබ විසින් පමණක් කිරීමට උත්සාහ නොකරන්න.

අභියෝග පරීක්ෂණය

සමහර අවස්ථාවලදී, ආහාර ආසාත්මිකතාවයක් හඳුනාගැනීම සඳහා ආහාර අභියෝග ලෙස හැඳින්වෙන පරීක්ෂණයක් ද භාවිතා කළ හැකිය. මෙම පරීක්ෂණය අතර තුර අසාත්මිකතාවයක් ඇතැයි සැක සහිත ආහාරයේ ප්‍රමාණය ටිකින් ටික වැඩි වන ආකාරයට ඔබට දෙනු ලබන අතර එයට ඔබ ප්‍රතික්‍රියා දක්වන ආකාරය අධීක්ෂණය යටතේ නිරීක්ෂණය කරනු ලැබේ. බරපතල ප්‍රතික්‍රියා දැක්විය හැකි බැවින් මෙම පරීක්ෂණය අනෙක් පරීක්ෂණ වලට වඩා අවදානම් වේ. නමුත් මෙය අසාත්මිකතා නිශ්චය කිරීම සඳහා වඩාත් නිවැරදි ක්‍රමය වේ. බරපතල ප්‍රතික්‍රියා වර්ධනය වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කල හැකි වන පරිදි, මෙම අභියෝග පරීක්ෂණය සෑම විටම සායනයකදී සිදු කරනු ලැබේ.

අසාත්මිකතා පරීක්ෂණ කට්ටල

වාණිජ අසාත්මිකතා පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම නිර්දේශ නොකරයි. මෙම පරීක්ෂණ සාමාන්‍යයෙන් ජාතික සෞඛ්‍ය සේවය හෝ පිළිගත් පෞද්ගලික සායන මගින් ලබා දෙන ලද ඒවාට වඩා පහත් ප්‍රමිතියක් වන අතර සාමාන්‍යයෙන් අවිශ්වාසනිය ලෙස සලකනු ලැබේ. අසාත්මිකතා පරීක්ෂණ ඔබේ රෝග ලක්ෂණ සහ වෛද්‍ය ඉතිහාසය පිළිබඳ සවිස්තර දැනුමක් ඇති සුදුසුකම් ලත් වෘත්තිකයෙකු විසින් අර්ථකථනය කළ යුතුය.